නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන් ඉදිකල නව ජැටියක් මන්නාරමේදී විවෘත කෙරේ

නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම වෙනුවෙන්, උතුරු මැද නාවික විධානයේ මන්නාරම වෙඩිතලතිව් නාවික අනුඛණ්ඩයේ ඉදිකල නව ජැටිය අද දින (2023 පෙබරවාරි 26) උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මන්නාරම වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුඩා යාත්‍රා මඟින් මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කිරීමේදී, එම මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා ආරක්ෂිතව නැවැත්වීමේ පහසුකම් නොමැතිවීම, එම ආරක්ෂක මුර සංචාර කාර්යක්ෂමව සිදුකිරීමට බාධාවක්ව පැවතිණි. ඒ අනුව, කාලයක සිට පැවති එම අවශ්‍යතාවය සපුරමින්, නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ආරම්භ කෙරුණු මෙම නව ජැටියේ ඉදිකිරීම් කටයුතු, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ අධීක්ෂණය යටතේ, කඩිනමින් අවසන් කර මෙලෙස අද දින (2023 පෙබරවාරි 26) විවෘත කිරීම සිදුකෙරිණි.

මෙම නව ජැටිය ස්ථාපනය මඟින්, ඉදිරියේදී මන්නාරම වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුඩා යාත්‍රා මඟින් සිදුකරනු ලබන මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදු කිරීමට මෙන්ම, වෙඩිතලතිව් ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අනෙකුත් මෙහෙයුම් කටයුතු සඳහා නාවිකයන් කාර්යක්ෂමව යෙදවීමටද පහසුකම් සැලසෙනු ඇත.

තවද, මෙම නව ජැටිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ සහ ශ්‍රි ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.