නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් 13 දෙනෙකු විසිර යති

නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ එම බලඇණියේ අටවන (08) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් නව දෙනෙකු (09) හට ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රොහාන් දිසානායක ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන්, 2023 පෙබරවාරි මස 27 වන දින ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරිණි.

සාමාජිකයින් 164 දෙනෙකුගෙන් සමන්විතව 2016 වර්ෂයේ දී ප්‍රථම වරට ස්ථාපිත වූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය මේ වන විට මෙම බඳවා ගැනීම ද ඇතුළුව, බඳවා ගැනීම් 08 ක් යටතේ නිලධාරීන් සහ මැරීන් භටයන් 603 දෙනෙකු ගෙන් සමන්විත බල ඇණියක් ලෙස ක්‍රමිකව වර්ධනය වී ඇත.

ඒ අනුව, මාස නවයක් (09) පුරා පැවැත්වූ අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වූ නාවික පුද්ගලයින් 19 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමකින් ආරම්භ කළ අටවන (08) බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව, සාර්ථකව අවසන් කල නාවික පුද්ගලයින් 13 ‍දෙනෙකු වෙත අභිමානවත් මැරීන් බලඇණි ලාංඡන පැළඳවීම, මෙම ‍අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් සිදු කෙරිණි. තවද, පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම මෙහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, අටවන මැරීන් බලඇණි පාඨමාලාවේ විශිෂ්ඨතම මැරීන් සාමාජිකයා වශයෙන් ලුතිනන් බීඒ විජයවික්‍රම, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා වශයෙන් ලුතිනන් ඩබ්ජීඑස් දිමන්ත, දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් බල නාවික එන්එස්ඒඑස්එම් සෙනරත් සහ දක්‍ෂතම ඉලක්කකරු වශයෙන් බල නාවික එන්පී චාලක කුසලාන හිමිකර ගන්නා ලදී. එමෙන්ම, මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව, නාවික හමුදා මැරීන් බලඇණියේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන ආකර්ශනීය සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙහිදී, සාර්ථකව ‍පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, විසිර යන ලද නාවික පුද්ගලයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංසන පිරිනමන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, පුහුණුවෙන් ලද පන්නරය තුලින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමට දායක වන ලෙසත්, රාජකාරි දිවියේදී මෙන්ම පෞද්ගලික දිවියේදීද ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට මෙම පුහුණුව උපයෝගි කර ගන්නා ලෙසත්, සාමකාමී වාතාවරණයක් හමුවේ වුවද මව්බිමට එරෙහිව නැගෙන ඕනෑම අභියෝගයක් හමුවේ නැගී සිටීමට සුදානම් විය යුතු බව සහ සෑම විටම දැනුම හා පුහුණුව යාවත්කාලීන කර ගනිමින් නිරන්තර අවධානයෙන් රාජකාරි කළ යුතු බවත් අවධාරණය කරන ලදී.

තවද, පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දායක වූ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හටත්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති ඇතුළු උපදේශක මණ්ඩලයේ සියළු සාමාජිකයන් හටත්, විශේෂ පුහුණු පහසුකම් සපයන ලද විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, යුද, ගුවන් හා පොලිස් යන ආයතන වෙතත් එහිදි ප්‍රධාන ආරාධිතයා විසින් සිය කෘතඥතාවය පල කිරීමට කටයුතු කෙරිණි.

මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රංජන් මැදගොඩ, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු සනත් පිටිගල, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (මැරීන්) සම්පත් දයානන්ද ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, යුද හා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගි වී සිටියහ.