ශ්‍රී ලංකාවේ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2023 පෙබරවාරි මස 25 වන දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) සිය සිව් දින (04) නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පාකිස්ථානය බලා පිටත් විය.

මෙම නිල සංචාරයේදී පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී විසින් මෙරට ආරක්‍ෂක ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් හමුවී අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වන ලදී. ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම, මෙම නිල සංචාරයේදී පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේද සංචාරය කළ අතර, එහිදී නැගෙනහිර නාවික විධාන ආඥාපති සමඟ හමුවක් සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරයක්ද සිදු කෙරිණි.

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී ගේ මෙම නිල සංචාරයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, මාලා ලමාහේවා මැතිණියගේ මූලිකත්වයෙන් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී ගේ මැතිණිය, අමීරා අම්ජාද් මැතිණිය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලදී.

තවද, කළාපීය නාවික හමුදා ප්‍රධානීන් විසින් සිදුකරනු ලබන මෙවැනි නිල සංචාර මඟින් වැඩිදියුණු වන සහයෝගීත්වය, ඉදිරියේදී ඉන්දියානු සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම සඳහා මහඟු පිටුවහලක් වනු ඇත.