‘INS Sukanya’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 27 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 මාර්තු 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා අතර මුහුදේදී භාණ්ඩ හා ඉන්ධන හුවමාරු කිරීම සඳහා නෞකා සූදානම් වීම, නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, ‍ නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.

‘INS Sukanya’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් වෙනුවෙන් නෞකාව මතදී පුහුණු වැඩසටහන් පවත්වන ලද අතර, ‘INS Sukanya’ නෞකාවේ නාවිකයන් විසින් පුත්තලම, ‍ග‍ඟේවාඩිය නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආපදා සහන සහ මානූෂිය ආධාර (HADR) සම්බන්ධ පුහුණු වැඩසටහනක් සඳහාද සහභාගී විය. එමෙන්ම, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ගාලු මුවදොර පිටියේදී යෝගා අභ්‍යාස වැඩසටහනක් පැවැත්වුනු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද කොළඹ හා ගාල්ල ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සඳහාද ‘INS Sukanya’ නෞකාවේ නැව් මුළුව සහභාගි විය.

තවද, නෞකාව නැරඹීම සඳහා ගාල්ල, දියකිතුල්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සහ මොණරාගල, කිත්සිරිගම කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ‍පිරිසක් වෙත අවස්ථාව හිමි වූ අතර, ‘INS Sukanya’ නෞකාව මඟින් රැ‍ගෙන එන ලද පාසල් උපකරණ කට්ටල එම විද්‍යාලයන් වෙත ලබා දීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණිය වෙත සංකේතාත්මකව භාරදීමද එහිදී සිදු කෙරිණි.

කලාපීය නාවික හමුදාවන්ට අයත් නෞකාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සංචාර මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම කුසලතා සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන මුහුදු තර්ජන ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.