නාවික හමුදාවේ සහයෙන් ‍ත්‍රිකුණාමලය, අබේපුර ප්‍රදේශයේ ප්‍රජා අක්ෂි සායනයක් සහ සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි

ත්‍රිකුණාමලය, අබේපුර ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී, 2023 මාර්තු මස 05 වන දින ත්‍රිකුණාමලය සහ හැඳල සිංහ සමාජයන් එක්ව සංවිධානය කළ ප්‍රජා අක්ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක් සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ අධීක්ෂණය යටතේ පැවති මෙම ප්‍රජා අක්ෂි සායනය සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහන සඳහා ප්‍රදේශයේ පුද්ගලයින් 142 දෙනෙකු පමණ සහභාගී විය.

ඒ අනුව, මෙම වැඩසටහන මඟින් බෝ නොවන රෝග පරීක්ෂා කිරීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය හා සෞඛ්‍ය උපදෙස් ලබා දීම සහ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

තවද, මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් සඳහා අවශ්‍ය සහය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.