සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 5 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් පස්දෙනෙකු (05) අධිකාරියට පත් කිරීම, අද දින (2023 මාර්තු 11) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන්කළ 1/2022 සේවා ප්‍රවේශ බඳවා ගැනීමට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 05 දෙනෙකු අද දින (2023 මාර්තු 11) අධිකාරියට පත් කෙරුණු අතර, එහිදී පුහුණු කාලසීමාව තුල සුවිශේෂි දක්‍ෂතා දැක්වූ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයන් වෙත කුසලාන හා සම්මාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, සේවා ප්‍රවේශ බඳවාගැනීමේ දක්‍ෂතම අපේක්‍ෂකයා සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස එම්ටීඑස් පෙරේරා විසින් ද, සියළුම විෂයයන් ගෙන් වැඩිම ලකුණුලාභියා ලෙස එල්පීඑස් රංගන විසින් ද කුසලාන හා සම්මාන හිමිකරගන්නා ලදි.

මෙහිදී, අධිකාරියට පත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් ඇමතූ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ඔවුන් වෙත සුභ පැතුම් පිරිනමන ලද අතර, නාවික හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවන ලෙස පවසන ලදි.

තවද, මෙම අධිකාරියට පත්කිරීමේ අවස්ථාව නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ සංස්කෘතික කණ්ඩායම ඉදිරිපත් කළ විචිත්‍රවත් අංගයන් ගෙන් වර්ණවත් වූ අතර, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් විජිත මාරපන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම අධිකාරියටපත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින්ගේ ඥාතීන් පිරිසක් ද සහභාගිවී සිටියහ.