ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

2023 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 11) වැලිසර, නාවික පරිශ්‍රයේදී විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කෙරිණි.

“ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය කාන්තා, ළමා ක‍ටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් 2023 මාර්තු මස 08 වන දින පවත්වන ලදි. ඊට සමඟාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මෙම විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහන සංවිධානය කරන ලද අතර, එමඟින් කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයන් සහ නාවික හමුදා පුද්ගලයන් ගේ භාර්යාවන්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් හරවත් දේශන මාලාවක් මෙන්ම ඉවුම් පිහුම්, රූපලාවන්‍ය සහ ගීත ගායනා ඇතුළු විශේෂාංගයන් ද පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපති විසින් උත්සව සභාව අමතමින්, නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් විසින් නාවික හමුදාව වෙනුවෙන් විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ සිදුකරනු ලබන සේවය ඇගයීමට ලක්කරන ලදි. එහීදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, පිරිමි නාවික පුද්ගලයන්ට පමණක් සීමාවූ විවිධ ක්‍ෂේත්‍රයන් කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් වෙත නාවික හමුදාව විවර කරදී ඇති බවත්, ඉදිරියේදී කාන්තා නිලධාරීන් හා කාන්තා නාවිකයන් හට මුහුදු රාජකාරීන් සඳහා ද අවස්ථාව උදාවන බවත් පවසන ලදි. එමෙන්ම නාවික හමුදාවේ භාරදූර වගකීම් දරමින් පිරිමි නාවික පුද්ගලයන් හා උරෙනුර ගැටෙමින් සම සාධාරණත්වයෙන් කටයුතු කලහැකි රාජකාරී පරිසරයක් නාවික හමුදාව තුලින් නිර්මාණය කරන බවත්, ඒ තුළින් රටට නාවික හමුදාව මඟින් ඉතා යහපත් ආදර්ශයක් ගෙනදීමට හැකියාව ලැබෙනු ඇති බවත් පවසන ලදි. එමෙන්ම, තම රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම සඳහා මවක් බිරිඳක් දියණියක් සහ මිතුරියක් ලෙස නිලධාරීන් සහ නාවිකයන්‍ ගේ පිටුපස සිටින විශාල ශක්තිය කාන්තාව බව පැවසූ නාවික හමුදාධිපති, වත්මන් ආර්ථික දුශ්කරතා හමුවේ වුවද කාන්තාවක් ලෙස තම වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයන් සහ නාවික පුද්ගලයන්ගේ භාර්යාවන් වෙත සිය ප්‍රශංසාව හිමිවන බවත් පවසන ලදි.

මෙහිදී, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා විසින් කාන්තා හා ළමා අපචාර, කාන්තා හිංසනය සහ ඒ සඳහා සමාජ මාධ්‍ය බලපෑම සම්බන්ධයෙන් සහ වෛද්‍ය කපිතාන් අප්සරා ‍හේනේගම විසින් කායික, මානසික හා සාමාජිය සෞඛ්‍ය සම්බන්ධයෙන් හරවත් දේශන පවත්වන ලද අතර, තමාලි වාසල මහත්මිය විසින් රූපලාවන්‍ය සම්බන්ධ දේශනයක් පවත්වන ලදි. එමෙන්ම, නාවික හමුදා සේවා වනිතාවන්ගේ උන්නතිය වෙනුවෙන් වෛද්‍ය, නීති, මූල්‍ය හා රූපලාවන්‍ය සම්බන්ධ ක්‍ෂේත්‍ර සාකච්ඡාවක් ද මෙම වැඩසටහන තුලදී පැවැත් වීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපති තුමිය ඇතුළු විධායක කමිටු සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ ‍කාන්තා නිලධාරීන් ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ ‍කාන්තා නාවිකයන් සහ සේවා වනිතා සාමාජිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.