යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2023 මාර්තු මස 10 සහ 11 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්‍ෂණය යටතේ මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා මුහුදු ප්‍රවාහන පහසුකම්, සනීපාරක්‍ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් සැලසීම මෙන්ම දේව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම ද නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

මෙහි ප්‍රධාන දේව මෙහෙය යාපනය පදවියේ ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර, ඒ සඳහා අනෙකුත් ප්‍රදේශ නියෝජනය කරමින් තවත් පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් සහභාගීවී සිටින ලදී.

මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින්, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.