ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කෙරේ

නැගෙනහිර නාවික විධානයේ ත්‍රීකුණාමලය දකුණ, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය, මාර්තු මස 20 වන දිනට යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කිරීම, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමා‍ර ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 20) ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

“මුව සුව අභිමන් විඳින්න - දිවි ඇති තෙක් සිනාසෙන්න” යන්න අද දිනට යෙදී ඇති (මාර්තු 20) ලෝක මුඛ සෞඛ්‍ය දින තේමාව වන අතර, යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම, හමුදා පුද්ගලයන් වශයෙන් මනා පෙනුම හා පෞරෂත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ගේ අධීක්‍ෂණය යටතේ, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්ත‍මේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයන්ගේ මුඛ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කර දන්ත සායන හා දන්ත ශල්‍යාගාර පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් කඩිනමින් ඉදි කිරීම් අවසන් කල අභිනව දන්ත ශල්‍යාගාරය ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව මෙලෙස අද දින (2023 මාර්තු 20) විවෘත කිරීම, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමා‍ර ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම, ජ්‍යේෂ්ඨ නාවිකයන් වෙනුවෙන් කලක සිට පැවති අවශ්‍යතාවයක් සපුරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද ජ්‍යේෂ්ඨ නාවික නිවාඩු නිකේතනය විවෘත කිරීමද මෙහිදී නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා විධාන දන්ත වෛද්‍ය නිලධාරී සහ නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ සහ පළමුවන මැරීන් බලඝණයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.