ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 146 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් එකසිය හතලිස් හය දෙනෙකු (146) සාගරයට මුදා හැරීම 2023 මාර්තු මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.

වඳවී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කර සාගර පරිසර පද්ධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යනු ලබන අතර, එමඟින් කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර ඉන් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීම සඳහා නාවික හමුදාව දායකත්වය දක්වනු ලබයි. මේ වන විට නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ මිරිස්ස, උණවටුන, හික්කඩුව, බලපිටිය බෙන්තොට, මොරගොල්ල, පානදුර, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, නිලාවේලි සහ පාසිකුඩා යන ප්‍රදේශයන්ගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන් පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය තුල පවත්වා ගෙන යනු ලබන කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර මඟින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් එකසිය හතලිස් හය දෙනෙකු (146) සාගරයට මුදාහැරීම මෙලෙස 2023 මාර්තු මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ කැස්බෑ සංරක්‍ෂණ ඒකකය මඟින් කැස්බෑ පැටවුන් 14,027 ක් මුහුදට මුදා හැර ඇත.

තවද, 2022 වර්ෂයේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් කැස්බෑ පැටවුන් 10755 ක්ද, 2023 වර්ෂයේ මේ දක්වා කැස්බෑ පැටවුන් 5886 ක්ද ආරක්‍ෂිතව සාගරයට මුදාහැරීමට කටයුතු කරනු ලැබ ඇත.