නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහින්ද මහවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත අද දින (2023 මාර්තු 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් මහින්ද මහවත්ත වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනමන ලදි.

1989 වසරේ දී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 07 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් මහින්ද මහවත්ත, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී සහ ආඥාපති වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නාවික අණභාර නිලධාරි (දූපත්), කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර), ඉන්දුනීසියාවේ ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක (ආරක්ෂක), අධ්‍යක්‍ෂ නාවික පුහුණු, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.