නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද දින (2023 මාර්තු 24) ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, මෙවැනි රසායනික සංයෝගයන්ගෙන් සිදුවන උපද්‍රව මැඩපවත්වාගැනීම සඳහා අදාල පාර්ශවයන් නිරන්තර අවධානයෙන් සහ සූදානමින් සිටීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ අධීක්‍ෂණයෙන්, නැගෙනහිර නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් රසායනික උපද්‍රව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම පුහුණුව සඳහා සහභාගී වූ පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සිදු කෙරිණි.

මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික උපද්‍රවයන් අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ අභ්‍යාස සාර්ථකව සිදු කෙරිණි.

මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ‍පොලීසිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ලංකා ධීවර වරාය සංස්ථාව, ප්‍රීමා සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගම, ඕෂන් පික් සමාගම, ත්‍රිකුණාමලය ගිනි නිවිමේ ඒකකය සහ ඉන්දියානු ඔයිල් සමාගම යන පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, රසායනික ආපදාවක් කළමණාකරණය කිරීමේදී සියළුම පාර්ශවයන් හා සංවිධාන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීත්වය මෙහිදී නාවික හමුදාව විසින් අවධාරණය කරන ලද අතර, මෙවැනි අභ්‍යාස මඟින් පාර්ශවකරුවන් අතර වැඩිදියුණු වන හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය තුළින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික ආපදාවන් සාර්ථකව කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.