ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පත්වෙයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පදවි ප්‍රාප්ති ‍උළෙල 2023 මාර්තු මස 24 වන දින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 07 වන සභාපතිනි වශයෙන් පත් වූ නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පදවි ප්‍රාප්ති ‍උළෙලේ පිළිගැනීමේ දේශණය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ හිටපු සභාපතිනි, ගුවන් කොමදෝරු නිලූකා අබේසේකර විසින් සිදු කල අතර, මෙම අවස්ථාව සඳහා ගෞරවණීය ආරාධිතයා ලෙස පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය දීලීප් ද සිල්වා මහතා විසින් වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨවල ඉදිරියේදී කාන්තා නියෝජනය වැඩිවීම තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේද කාන්තා නියෝජනය ඉහළ යනු ඇති බවත්, එහිදී පිරිස් පාලනයේ ඇතිවන ගැටළු සම්බන්ධයෙන් දැන් සිටම අවධානය යොමු කල යුතු බවත් දත්ත ඉදිරිපත් කරමින් පෙන්වා දෙන ලදි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 07 වන සභාපති පිළිගැනීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, පසුගිය මානුෂීය මෙහෙයුම පැවති සමයේ මෙන්ම, රට තුළ ඇතිවූ ජාතික ආපදා තත්වයන්හිදී හමුදා වෛද්‍ය සේවාවන් විසින් දැක්වූ සුවිශේෂි දායකත්වය අගය කරන බව පවසන ලදී. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය මඟින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව පරිපූරක වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපනය කිරීමට සිදුකරනු ලබන දායකත්වය ඇතුළු හමුදා වෛද්‍ය සේවාවන් අතර, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගනිමින් එම සේවාවන්ගේ වෘත්තීය නිපුණත්වය වෙනුවෙන් ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා පුළුල් කිරීමට සිදුකරනු ලබන දායකත්වයද අගය කරන ලදි. තවද, කිමිදුම් විශේෂඥයෙකු වශයෙන් සහ නාවික හමුදා කිමිදුම් ඒකකය භාර නිලධාරි ලෙස කටයුතු කල වකවානුවේ, කිමිදුම් වෛද්‍ය ශිල්පියෙකු සහ චිකිත්සකයෙකු ලෙස පුද්ගලයන් ගණනාවකගේ ජීවිත ගලවා ගැනීමට හැකි වූ බව සිහිපත් කල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය මඟින් හමුදා වෛද්‍යවරුන් වෙත කිමිදුම් හා සම්බන්ධ Hyperbaric වෛද්‍ය ප්‍රථිකාර සම්බන්ධ පුහුණුව ලබාදීම කාලීන වශයෙන් වැදගත් අවශ්‍යතාවයක් බව පවසන ලදි. එමෙන්ම, නාවික හමුදාව මඟින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය වෙනුවෙන් සභාපතිවරුන් දෙදෙනෙකු බිහිකිරීමට හැකිවූ බව පැවසූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 07 වන සභාපති ලෙස පත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු වෙත සිය සුභාශිංසන පිරිනමන බව පවසන ලදි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු, ඉදිරි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ කටයුතු මෙහෙ‍යවීම වෙනුවෙන්, තමන් කෙරෙහි විශ්වාසය තබමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිනි ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සිය ස්තූතිය පළ කරන බව පවසන ලදි. හමුදා සෞඛ්‍ය සේවාව, මෙරට තෙවන විශාලතම සෞඛ්‍ය සේවාව බවත්, හමුදාවන් අතර සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ වෘත්තීය නිපුණතාවය ඇති කිරීම වෙනුවෙන් 2016 වර්ෂයේ ස්ථාපිත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ ත්‍රිවිධ හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් සාමාජිකත්වය දරණ බවත් පවසන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය ජාතික හා ජාත්‍යන්තර වෛද්‍ය සංගම් හා සංවිධන සමඟ එක්ව වැඩකටයුතු සිදු කරන බැවින්, ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර තලයේ නව දැනුම හා කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟපෙන්වීම ලබාදෙමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඉදිරි වසරක කාලසීමාව තුළ කැපවන බවත් නව සභාපතිනි වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු විසින් එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, එයර් වයිස් මාෂල් උදේනී රාජපක්ෂ, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා දන්ත වෛද්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.