විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති 01/2023 ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුද හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 01/2023 (Joint Combined Exchange Training (JCET) Balance Style 01/2023) සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 24 වන දින සිදු කෙරිණි.

2023 පෙබරවාරි මස 27 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් 24 දෙනෙක්, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් 12 දෙනෙකු‍‍ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් 36 දෙනෙක් සහ ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදා විශේෂ බලකායේ ඇල්ෆා 1121 මෙහෙයුම් අනුඛණ්ඩයට අයත් පුහුණුකරුවන් 09 දෙනෙක් සහභාගී විය.

මෙම පාඨමාලාව තුලදී, මෙහෙයුම් සැලසුම් කිරීම, උපායික සටන් අනතුරු සත්කාර, යුද භූමියේ සමීප සටන්, වෙඩි පුහුණුව ඇතුළු අභ්‍යාස සිදුකෙරුණු අතර, එමඟින් මෙම පුහුණුව සඳහා අනුයුක්ත වූ පාර්ශ්වයන් අතර නව දැනුම හා වෘත්තීය කුසලතා වර්ධනය මෙන්ම, විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරී කපිතාන් තුසර මහේෂ්, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ධර්මසිරි හේරත්, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදා විශේෂ බලකායේ ඇල්ෆා 1121 මෙහෙයුම් අනුඛණ්ඩයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.