ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් සමුද්‍රීය මෙහෙයුම් සඳහා භාවිතා කරන උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ තොගයක් භාරදීම අද දින (2023 මාර්තු 27) කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම උපකරණ තොගය ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනී සී නෙල්සන් විසින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වෙත සංකේතාත්මකව භාරදීම සිදුකෙරිණි.

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ Department of Defence Building Partner Capacity වැඩසටහන මඟින් ප්‍රදානය කරන ලද මෙම උපකරණ තොගය ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය මඟින් සිදුකරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා (Visit Board Search & Seizure - VBSS) භාවිතා කිරීමට නියමිතව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයින්, අධ්‍යක්‍ෂ නාවික විශේෂ බළකා, කපිතාන් තුසිත දමින්ද ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගීවී සිටියහ.