ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI Bima Suci’ නෞකාව (Sailing Ship), දිගින් මීටර් 112.2 ක් හා නැව් මුළුව 95 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස Commander M. Sati Lubis කටයුතු කරනු ලබයි.

‘KRI Bima Suci’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 අප්‍රේල් 20) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කෙරුණු අතර, එහිදී දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

මෙම නෞකාව මෙරට රැඳී සිටින කාල සීමාව තුළ එහි නැව් මුළුව විසින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සිදු කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් මෙම පුහුණු නෞකාව නැරඹීමටද නියමිතව ඇත.

තවද, මෙම සුහද සංචාරය නිමාකරමින් 2023 අප්‍රේල් මස 22 වන දින ‘KRI Bima Suci’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී පුහුණු සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් දෙදෙනෙකු (02) නෞකාවට අනුයුක්ත වීමටද නියමිතව ඇත.