ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරන ලද ශිෂ්‍ය නිලධාරීන්ගේ සහතික ප්‍රදානෝත්සවය 2023 මැයි මස 11 වන දින නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සති 18 ක් පුරා පැවති මෙම පාඨමාලාව තුලදී ශිෂ්‍ය නිලධාරීන් හට වෘත්තීය විෂය මාලාවක් යටතේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසුන අතර, 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් දහ අට (18) දෙනෙකු සහභාගී විය.

ඒ අනුව, 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරන ලද ශිෂ්‍ය නිලධාරීන්ගේ සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලව හදාරන ලද ශිෂ්‍ය නිලධාරීන් වෙත සිය සුභාශිංෂණ පිරිනමන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ, නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.