නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ 41 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2022 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 41 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා හෙද ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අද දින (2023 මැයි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගෞරවණීය ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාවාර්ය එස්එස්පී වර්ණකුලසූරිය මහතා සහභාගී විය.

ඒ අනුව, නාවික හෙද විදුහලේ 2022 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා හෙද සිසුන් තිස් එක් දෙනෙක් (31) සහ ගුවන් හමුදා හෙද සිසුන් දස දෙ‍නෙක් (10) වෙත හිස් වැසුම් පැළඳවීම සහ තුන්සිළු පහන් ප්‍රධානය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා (හෙද අධ්‍යාපන) අශෝකා අබේනායක, අධ්‍යක්‍ෂිකා (හෙද වෛද්‍ය සේවා) එම්බීසී සමන්මලී, ශ්‍රී ලංකා හෙද සභාවේ සභාපති හා ලේඛකාධිකාරීතුමිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය පීඨයන්හි කථිකාචාර්යවරුන්, කඳාන කොළඹ සහ කළුතර හෙද විදුහල්වල විදුහල්පතිවරුන්, ජ්‍යේෂ්ඨ හෙද ආචාර්යවරුන්‍ගේ සහ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරීන් විසින් සිදු කෙරිණි.

මෙහිදි පළමු අර්ධ වාර්ෂික පරීක්‍ෂණ විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් හෙද සිසුන් හට විෂය ප්‍රවිණතා පදක්කම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු අධ්‍යක්ෂ ජෙනරාල් වරුන්, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය කොමදෝරු පීජේබී මාරඹේ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.