නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් වෙනුවෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් විශේෂ දේශණයක් පවත්වයි

නැගෙනහිර නාවික විධා‍නයේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන අත්දැකීම් මත පදනම් වූ දේශන මාලාවේ පස්වන දේශනය, ‘ Location, Location, and Location: Defence Diplomacy & Indo Pacific Strategies for Sri Lanka’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ විසිවන (20) නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් 2023 මැයි මස 13 වන දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ඒ අනුව, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම දේශනය මඟින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ තරුණ නිලධාරීන්ගේ දැනුම පුළුල් කිරීමට අවශ්‍ය වැදගත් කරුණු ඉදිරිපත් කරන ලදි. වත්මන් ගෝලීය වාතාවරණය සහ ඉන්දු ශාන්තිකර කලාපය තුල ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම අවධාරණය කල අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, වි‍දේශ පුහුණු අවස්ථා සඳහා සහභාගී වන තරුණ නිලධාරීන් ඉන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගනිමින් මව්බිමට සේවය කිරීම සිදුකල යුතු බව අවධාරණය කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් , පුහුණුවන නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.