රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් රණක්‍ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපති ගෙන් උපහාර

රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් අද දින (2023 මැයි 18) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වී ඔවුන් වෙත උපහාර පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය ද සහභාගී විය.

මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම උදෙසා දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම වෙනුවෙන් සිදුකළ මානුෂීය මෙහෙයුමේදි විරෝධාර නාවික හමුදා රණවිරුවන් 1160 දෙනෙකු ජීවිත පරිත්‍යාග කර ඇති අතර, 517 දෙනෙකු රණක්‍ෂිතයට පත්ව ඇත.

ඒ අනුව, රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින වීරෝධාර නාවික රණවිරුවන්ගේ සුවදුක් විමසා ඔවුන්ව දිරිමත් කළ නාවික හමුදාධිපති, එහිදී එම රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබා දුන් ත්‍යාග එම රණවිරුවන් වෙත පිරිනැමීමද නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය හා එක්ව සිදු කෙ‍රිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.