ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව ඒකාබද්ධ කලාපීය රැස්වීමක් ත්‍රිකුණාමලයේදී පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව ඒකාබද්ධ කලාපීය රැස්වීමක් 2023 මැයි මස 18 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු සහභාගී වූ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න මහත්මිය එම සංගමය නියෝජනය කරමින් සහභාගී විය. මෙම රැස්වීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ විද්වත් දේශන මාලාවක් පැවැත්විණි.

ඒ අනුව, වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා, මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා, අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) (Zoom තාක්ෂණය ඔස්සේ) සහ ගරු ජනාධිපතිතුමාගේ පරිසරය පිළිබඳ උපදේශක වෛද්‍ය ආනන්ද මල්ලවතන්ත්‍රී මහතා මෙහිදී දේශන පවත්වන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු ත්‍රිවිධ හමුදා හා පොලිසියේ නිලධාරීන්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රජයේ හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහ ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ සිසුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.