ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2023 මැයි මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම මාණ්ඩලික සාකච්ඡා වාරය ඇරඹිමට පෙර පකිස්ථාන නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී කොමදෝරු අහමඩ් හුසේන් (Commodore Ahmed Hussain) විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් හමුවී සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරුණු අතර, එහිදී සමරු තිළිණ හුවමාරු කරගැනීමද සිදුකෙරිණි.

මෙම සාකච්ඡා වාරය සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ නාවික අවි කොමදෝරු හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශවය සහභාගී වූ අතර, පකිස්ථානු නාවික හමුදාව නියෝජනය කරමින් පකිස්ථානු නාවික හමුදාවේ කොමදෝරු අහමඩ් හුසේන් ගේ ප්‍රධානත්වයෙන් පකිස්ථානු නාවික හමුදා පාර්ශවය සහභාගි විය.

මෙවර සාකච්ඡා වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම, පාකිස්ථානු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලමාණක අංශයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම, පුහුණුවීම්, ඒකාබද්ධ අභ්‍යාස, වෘත්තීය දැනුම හුවමාරුව, පුහුණු හුවමාරුව ඇතුළු ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් පුළුල් ලෙස අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.