ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභට නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වෙයි

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් ගේ ආරාධනයෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඉන්දියාවේ එසිමලා (Ezhimala) හි පිහිටි ඉන්දීය නාවික හමුදා විද්‍යා පීඨයේ 2023 මැයි මස 27 වන දින පැවති ශිෂ්‍ය භට නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියද සහභාගී විය.

ඒ අනුව, 104 වන ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමට අයත් විදේශීය ශිෂ්‍ය භට නිලධාරීන් 05 ක් ද (ශ්‍රී ලංකාව 03, බංගලාදේශ 01 සහ වියට්නාම 01) ඇතුළුව මධ්‍ය නිලධාරීන් 102 ක්, 37 වන නාවික දිශානති පාඨමාලාව (නිත්‍ය) හැදෑරු විදේශීය නිලධාරීන් 03 ක් ද (මැඩගස්කර් 01, මාලදිවයින 01, මොරිෂස් 01) ඇතුළුව නිලධාරීන් 41 ක්, 37 වන නාවික දිශානති පාඨමාලාව (ඉන්දීය වෙරළාරක්‍ෂක) හැදෑරු නිලධාරීන් 24 ක්, 35 වන නාවික දිශානති පාඨමාලාව (දීර්ඝ කරන ලද) හැදෑරු කෙටි කාලීනව අධිකාරියට පත් කරන ලද (Short Service Commissioned SSC Pilot) ගුවන් නියමු නිලධාරීන් 14 ක්, 35 වන නාවික දිශානති පාඨමාලාව (දීර්ඝ කරන ලද) හැදෑරු දිගු කාලීන අධිකාරියට පත් කරන ලද (Permanent Commissioned) නිලධාරීන් 11 ක් සහ 33 සහ 34 වන වන නාවික දිශානති පාඨමාලාව (දීර්ඝ කරන ලද) විධායක අංශයේ නිලධාරීන් 19 දෙනෙකු ඇතුළුව ශිෂ්‍ය භට නිලධාරීන් 211 දෙනෙකු මෙහිදී විසිර යන ලදි.

එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ විසිර යන නිලධාරීන් 211ක ගෙන් සැදුම්ලත් පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, විසිර යන ලද නිලධාරීන් අමතමින්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට ලැබීම විශාල ගෞරවයක් බව ප්‍රකාශකරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, ඉන්දීය නාවික හමුදාවේ හර වටිනාකම් (core values ) ලෙස සැලකෙන රාජකාරිය (duty), ගෞරවය (honour) හා ධෛර්යය (courage ) පදනම් කරගනිමින් නොබෝ දිනකින් විසිර යන ඉන්දීය නිලධාරීන් ඉන්දීය නාවික හමුදාව වෙනුවෙන් ද, විසිර යන ලද විදෙස් නිලධාරීන් මිත්‍ර රාජ්‍යන්ගේ නාවික හමුදා වෙනුවෙන් ද සේවය කිරීම අරඹනු ඇති බවත්, එහිදී අපේක්ෂිත අරමුණු ළඟාකරගැනීම සඳහා තම කණ්ඩායම මෙහෙයවීම හා නායකත්වයදීමේදී දුෂ්කර තීන්දු තීරණ ගැනීමට පුහුණුව තුලින් වැඩිදියුණු කරගත් දැනුම සහ නායකත්ව ගුණාංග මහත් පිටුවහලක් ගෙන දෙනු ඇති බවත් පවසන ලදි.

එමෙන්ම, ශක්තිමත් චරිතය හා කීර්තිය ඉහල මට්ටමක තබාගැනීම මඟින් අපේක්ෂිත අරමුණු පහසුවෙන් ළඟා කරගැනීමටත්, එතුලින් දේශප්‍රේමීත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨ නායකයකු බිහිවනු ඇති බවත් පැවසූ නාවික හමුදාධිපති, විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් ඇතුළු ඔවුන්ගේ සමීපතමයින් ඉදිරියේදී මව්බිම වෙනුවෙන් විසිර යන නිලධාරීන් හට ඉටුකිරීමට පැවරෙන සුවිශේෂී කාර්යය භාරය නිසිලෙස ඉටුකිරීම සඳහා ඔවුන් දිරිමත් කළ යුතු බවත්, මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම සඳහා සේවය කිරීම විසිර යන නිලධාරීන් වෙතින් තම මව්බිම අපේක්ෂා කරන බැවින්, ඒ සඳහා කැපවීමට අධිෂ්ඨාණ කරගතයුතු බවත් පවසන ලදී. විසිර යන ලද නිලධාරීන් නිසිලෙස පුහුණු කිරීම සඳහා කැපවූ ඉන්දියානු නාවික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු පුහුණු උපදේශක මණ්ඩලය වෙත සිය ප්‍රසංශාව පලකිරීම ද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිගේ ඉන්දීය නිල සංචාරයේදී ඔහු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගරු මිලින්ද මොරගොඩ, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර්, ආරක්‍ෂක ලේකම් ශ්‍රී ගිරිධර් ඇරමන්, ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාන්ඩේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චවුහාන්, ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි, ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් Sukriti Singh Dahiya, ජාතික සමුද්‍රීය ආරක්‍ෂක සම්බන්ධීකාරක වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර්, දකුණු නාවික විධානයේ ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් එම්ඒ හම්පිහෝලි සහ ධජ නිලධාරී මුහුදු පුහුණු රියර් අද්මිරාල් සුසීල් මෙනන් හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීමත්, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කරගැනීමත් සිදුකෙරිණි. ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි ජාතික යුද සැමරුම් ස්මාරකය වෙත උපහාර පුදකිරීම සහ ඉන්දීය තොරතුරු සංයෝජන මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමද මෙම සංචාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

එමෙන්ම, ඉන්දීය නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, කාලා හරි කුමාර් මැතිණියගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද සේවා වනිතා වැඩසටහන් සඳහා ශ්‍රී නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණිය සහභාගීවීමද ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව එහිදී සිදුකෙරිණි.

තවද, මෙවැනි නිල සංචාර මඟින් වැඩිදියුණු වන විදේශ සබඳතා සහ දෙරටේ නාවික හමුදාවන් අතර ගොඩනැගෙන සහයෝගීත්වය තුලින් ඉදිරියේදී සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහත් පිටුවහලක් ගෙන දෙනු ඇත.

ජායාරුප අනුග්‍රහය - ඉන්දීය නාවික හමුදාව