පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TIPPU SULTAN’ යුද නෞකාව, දිගින් මීටර් 134.1 ක් හා නැව් මුළුව 168 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් JAWWAD HUSSAIN TI කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘PNS TIPPU SULTAN’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත. අද දින මෙම නෞකාව නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට අවස්ථාව උදාවූ අතර, එහිදී නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිලිබඳ දැනුවත් කිරීමක් සිදුකෙරිණි.

තවද, ‘PNS TIPPU SULTAN’ නෞකාව 2023 ජුනි මස 20 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.