ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Vagir’ සබ්මැරීනය, දිගින් මීටර් 67.5 ක් හා නැව් මුළුව 60 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර් එස් (Commander Divakar S) කටයුතු කරනු ලබයි.

මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිතව ඇති අතර, ‘INS Vagir’ සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගීවීමටද නියමිතව ඇත.

එමෙන්ම, ‘INS Vagir’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, මෙම නිල සංචාරය නිමා කරමින් 2023 ජුනි මස 22 වන දින ‘INS Vagir’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.