කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සඳහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ජුනි මස 10 වන දින ආරම්භ කෙරිණි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව විසින් සපයනු ලබන සේවාවන් සහ පහසුකම් 2023 ජුනි මස 15 වන දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, කතරගම දක්වා පාද යාත්‍රාවට සහභාගී විය.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගිණිකොන නාවික විධානයේ ආඥාපති ගේ අධික්ෂණය යටතේ කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී බැතිමතුන් හට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජිවීතාරක්ෂක සේවාවන්, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම ගිණිකොන නාවික විධානය මඟින් ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණය වෙමින් සිදු කරනු ලබයි.

බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් සපයනු ලබන පහසුකම් හා සේවාවන් නිරීක්ෂණය කල නාවික හමුදාධිපති, ඔකඳ ප්‍රදේශයේ පිහිටි කතරගම දේවාලය වෙත ගොස් ආගමික වතාවත් සිදුකර පාද යාත්‍රාවට එක් විය. අනතුරුව, කතරගම දක්වා පැමිණි නාවික හමුදාධිපති කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනිමින් ආගමික වතාවත් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), ගිණිකොන නාවික විධානයේ හිටපු ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ සහ ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති රියර් අද්මිරාල් නලීන් නවරත්න යන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූ අතර, පාද යාත්‍රාව අවසන් වීමට නියමිත 2023 ජුනි මස 27 වන දින දක්වා ඒ සඳහා සහභාගි වන දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදාව මඟින් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කර ඇත.