‘PNS TIPPU SULTAN’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 18 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුනි 20) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.

එමෙන්ම, ‘PNS TIPPU SULTAN’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් JAWWAD HUSSAIN TI සහ බටහිර නාවික විධනයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් 2023 ජුනි මස 19 වන දින එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම නෞකාවේ නැව් මුළුව දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරඟාවලියක් සඳහා ද සහභාගි විය.

තවද, ‘PNS TIPPU SULTAN’ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව හිමිවූ අතර, නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයකද නිරත විය.

කලාපීය නාවික හමුදාවන්ට අයත් නෞකාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම කුසලතා සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන මුහුදු තර්ජන ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.