ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අද දිනට (2023 ජුනි 21) යෙදී ඇති ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව විශේෂ යෝගා වැඩසටහනක්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතාගේ හා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, අද දිනට (2023 ජුනි 21) යෙදෙන 09 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද මෙම යෝගා වැඩසටහන සඳහා ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් මෙන්ම, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.