ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 19 වන දින සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ජුනි 22) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ‘INS Vagir’ සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම නිල සංචාරයේදී, ‘INS Vagir’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් දිවාකර් එස් (Commander Divakar S) සහ බටහිර නාවික විධනයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම සබ්මැරීනයේ නැව් මුළුව දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරඟාවලියක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද සහභාගී විය.

2023 ජුනි මස 21 වන දිනට යෙදුණු 09 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව එක්ව විශේෂ යෝගා වැඩසටහනක්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ මහතාගේ හා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී විය.

එමෙන්ම, නාවික හමුදාධිපති විසින් 2023 ජුනි මස 21 වන දින ‘INS Vagir’ සබ්මැරීනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී නාවික හමුදාධිපති සහ INS Vagir’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

තවද, ‘INS Vagir’ සබ්මැරීනය නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හට මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හටත්, පාසල් ශිෂ්‍යභට බාළක බාළිකාවන් හටත් අවස්ථාව උදාවූ අතර, කලාපීය නාවික හමුදාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින් වැඩිදියුණු වන සුහදත්වය හා සහයෝගීත්වය, සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා ඉදිරියේදී මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.