ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘IKAZUCHI (DD-107)’ යුද නෞකාව, දිගින් මීටර් 150.5 ක් හා නැව් මුළුව 207 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් TANAKA Hiroaki කටයුතු කරනු ලබයි. නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 ජුනි 22) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණි.

එමෙන්ම, ‘IKAZUCHI (DD-107)’නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාව 2023 ජුනි මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.