නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් විජිත මාරපන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මාරපන අද දින (2023 ජුනි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් විජිත මාරපන වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් විජිත මාරපන වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වසරේ දී 20 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් විජිත මාරපන, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාධිපති ගේ ලේකම්, කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (උතුර), කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (දකුණ), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැටුප්, කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (උතුරු මැද), කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (වයඹ), ජනාධිපති නිල නිවසේ අධ්‍යක්‍ෂ සැපයුම් හා පරිපාලන නිලධාරී, නාවික හමුදාධිපතිගේ ලේකම් හා නාවික ලේකම්, අධ්‍යක්‍ෂ නාවික අයවැය සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.