නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි

නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් කඩොලාන පැළ දහසක් (1000) රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 26 වන දින ලංකාපටුන උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි ගංඟා, මෝය හා කලපු ප්‍රදේශ ආශ්‍රිතව නාවික හමුදාව විසින් කඩොලාන රෝපණය කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් මෙම කඩොලාන පැළ දහසක් (1000) රෝපණය කිරීමේ වැඩසටහන උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරිණි.

වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරුකීම සඳහා කඩොලාන පරිසරය විශාල දායකත්වයක් දක්වයි.

මෙම අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරී (ත්‍රීකුණාමලය දකුණ) කොමදෝරු අසංග රතුගමගේ ඇතුළු නැගෙනහිර නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින්, රාජ්‍ය නොවන සංවිධාන හා රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන්, පාසල් ළමුන් සහ සිවිල් මහජනතාව සහභාගී වී සිටියහ.