නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරීන් 2ක් සහ කාන්තා නාවිකයන් 3ක් මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් තිදෙනෙකු ගෙන් (03) සමන්විත නාවික හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම 2023 ජුනි මස 21 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත් විය.

ඒ අනුව, නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ අංශයන් කාන්තා නාවික පුද්ගලයන් හටද විවර කරදීමේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයකට අනුව, මෙම මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව කාන්තා නාවික පුද්ගලයන් හට උදාවිය.

එමෙන්ම, ආරක්‍ෂක සේවා නිදහස් ආර පැරෂුට් තරඟාවලිය සඳහා නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායමක් සහභාගී කරවීමේ ද අරමුණින්, මෙලෙස පළමු නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායම මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සඳහා අනුයුක්ත කෙරුණු අතර, ඒ සඳහා පැවැත්වූ විශේෂ ශාරීරික හා මානසික යෝග්‍යතා පරීක්‍ෂණයකින් සුදුසුකම් ලැබූ,ලුතිනන් ඉරේෂා මධුෂාණී හා ලුතිනන් ප්‍රසාදී නදීෂානී යන කාන්තා නිලධාරීන් දෙදෙනා (02) සහ බලකාන්තා ශාරීරික අභ්‍යාසක අයේෂා විජයරත්න, සාමාන්‍ය කාන්තා නැවි මහීෂා රණසිංහ සහ සාමාන්‍ය කාන්තා නැවි කෞෂි තිසේරා යන කාන්තා නාවිකයන් තිදෙනා (03) 2023 අප්‍රේල් මස 24 වන දින සිට ජුනි මස 21 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී පැවැත්වූ මූලික පැරෂූට් පාඨමාලාව ඉතා සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පාඨමාලා අංක 52 යටතේ යුද, ගුවන්, නාවික හා පොලිස් විශේෂ කාර්යය බළකා පිරිමි සහ කාන්තා නිලධාරින් සහ සෙසු නිලයන් 43 දෙනෙකු ගෙන් සමන්විත වූ මෙම මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව තුලදී, මූලික පැරෂුට් භාවිතය සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 32 ගුවන් යානයකින් අඩි 800 ත් - 1000 ත් අතර උසක ඉහළ ගුවනේ සිට අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පතිත කලාපය වෙත එක් රාත්‍රී පැනුම් වාරයක් සහ අවි හා උපකරණ සහිත උපක්‍රමශීලී පැරෂුට් පැනීමක් ද සමඟින් පැනුම් වාර පහක් (05) සාර්ථකව සිදුකෙරිණි.

තවද, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව ඉතා උසස් අන්දමින් නිමකළ මෙම නාවික හමුදා පළමු කාන්තා පැරෂුට් කණ්ඩායම, 2023 ජුලි මස 02 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී ආරම්භ කිරීමට නියමිත නිදහස් ආර පැරෂුට් පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරනු ලබන ප්‍රථම කාන්තා පැරෂූට් කණ්ඩායම ලෙස මහත් අභිමානයෙන් යුතුව සහභාගීවීමට නියමිතව ඇත. එමෙන්ම, එම පාඨමාලාව අවසානයේ මෙම නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායම නාවික හමුදා පැරෂුට් සංචිතයට ඇතුලත්ව ඉදිරියේදී ඒකාබද්ධ මෙහෙයුම් හා පුහුණු අභ්‍යාස වෙනුවෙන් සහ සංදර්ශන වෙනුවෙන් ඵලදායි ලෙස යෙදවීමට නාවික හමුදාව අපේක්ෂා කෙරේ.