නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 67ක් නාවික හමුදා මූලස්ථානයේදී පත්වීම් ලිපි ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 65 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් තිස්පස් දෙනෙකු (35), ස්වේච්ඡා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු 67ක් වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2023 ජුනි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විධායක, ඉංජිනේරු, සැපයුම්, විදුලි හා විද්‍යුත්, නාවික පාබල සහ විනයාරක්‍ෂක යන අංශයන් වෙත බඳවා ගත් ශිෂ්‍යභට නිලධාරීන් 35 දෙනෙකු, ස්වේච්ඡා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවාගත් පිරිම් හා කාන්තා නිලධාරීන් 29 දෙනෙකු සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ ඉංජිනේරු අංශ වෙත බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම මෙලෙස නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ප්‍රථමයෙන් ඔවුන් හ‍ට සිය සුභාශිංසන පිරිනමන ලදී.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදා‍ධිපති, දෙමව්පියන් වශයෙන් තම දරුවන්ට ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ වුවද හොඳ අධ්‍යාපනයක් ලබා දී ඔවුන්ගේ ජීවීතය සාර්ථක කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් උදාකර දෙමින් තම දරුවන් නාවික හමුදාවට එක්කර දීම, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත් බුද්ධිමත් තීරණයක් බව ප්‍රකාශ කර සිටින ලදි. නාවික හමුදාවේ සේවය කිරීම හුදු රැකියාවක් පමණක් නොව රට වෙනුවෙන් සිදුකරනු ලබන උදාර සේවයක් බවත්, ජාතික අභිමානය වර්ධනය කරමින් මෙම උතුම් යුතුකම ඉටු කිරීමට නවක නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන් හා නිලධාරිනියන් වග බලා ගත යුතු බවත් නාවික හමුදාධිපති අවධාරණය කර සිටින ලදී. නවක නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය ඔප්නැංවීම සඳහා දේශීය හා විදේශීය පුහුණු අවස්ථා හිමිවන බවත්, අනාගතයේදී ඵලදායි නායකයින් බවට පත්වීම සඳහා ඔවුන්ගේ වෘත්තීයභාවය, චරිත ලක්ෂණ, නායකත්වය සහ හැකියාවන් හැඩගස්වා ගැනීමට නාවික හමුදාව සුවිශේෂ සංධිස්ථානයක් වනු ඇති බවත් ප්‍රකාශ කල නාවික හමුදාධිපති, මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීම උදෙසා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් ආදරණීය දෙමාපියන් වෙත සිය හෘදයාංගම ස්තූතිය පුද කිරීමටද කටයුතු කෙරිණි.

මෙම පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලද නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.