පූර්ණ ආබාධිත විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයෙකු වෙත නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි

විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින පාලක ප්‍රධාන සුළු නිලධාරි එම්යූඑල් ජයරත්න (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, 2023 ජුලි මස 03 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි එම ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේදි සිදු කෙරිණි.

පාලක ප්‍රධාන සුළු නිලධාරි එම්යූඑල් ජයරත්න (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් ඔහුගේ පූර්ණ ආබාධිත තත්වයට සහනයක් ලෙස විදුලි රෝද පුටුවක් ලබා ගැනීම සඳහා නාවික හමුදා සුභසාධක අංශය වෙත ඉල්ලීමක් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සුභසාධක අංශයේ මූල්‍යමය දායකත්වයෙන් සහ නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් එම ජ්‍යේෂ්ඨ නාවිකයා වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම විදුලි රෝද පුටුව, නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන්, එම ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත පිරිනැමීම මෙලෙස 2023 ජුලි මස 03 වන දින සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා රියර් අද්මිරාල් ජයන්ත ගමගේ (විශ්‍රාමික) ජ්‍යේෂ්ඨ නිලධාරියා ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.