අභිනව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, අද දින (2023 ජූලි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි අභිනව ගුවන් හමුදාධිපති, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු, සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු කළමනාකරණ මණ්ඩලය අභිනව ගුවන් හමුදාධිපති වෙත හඳුන්වාදීම සිදුකෙරිණි.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති ලෙස 2023 ජුනි මස 30 දින පත්වීමෙන් පසු, ඔහු නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සනිටුහන් වූ අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති විසින් ධූරයේ ඉදිරි කටයුතු සඳහා අභිනව ගුවන් හමුදාධිපති වෙත සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.