වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින බහුකාර්යය උත්සව ශාලා‍වේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින්, වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙන නවීන පහසුකම් සහිත බහුකාර්යය උත්සව ශාලාවේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුලි මස 14 වන දින වැලිසර නාවික පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ වැඩසටහන්, උත්සව අවස්ථාවන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන අවශ්‍යතා පහසුවෙන් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නාවික හමුදාව තුළම ස්ථාපනය කර ගැනීමේ අරමුණින් මෙම නවීන තාක්‍ෂණික පහසුකම් සහිත බහුකාර්යය උත්සව ශාලා‍වේ ඉදිකිරීමේ කටයුතු පසුගිය 2021 වර්ෂයේ අප්‍රේල් මස 25 වන දින ආරම්භ කෙරිණි.

ඒ අනුව, මාලිමා සත්කාරක සේවාව යටතේ ඉදිරියේදී මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත මෙම බහුකාර්යය උත්සව ශාලා‍වේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මේ වන විට එහි අවසන් අධියරට පැමිණ ඇති අතර, එම උත්සව ශාලාවේ ඉදිකිරීම් සම්පූර්ණ කෙරුණු එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම මෙලෙස 2023 ජුලි මස 14 වන දින සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ උත්සව ශාලා‍වේ මෙහෙයුම් හා ව්‍යාපෘති කමිටු සාමාජිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.