නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 14 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු එම විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නාවික අණභාර නිලධාරි ත්‍රිකුණාමලය උතුර, කොමදෝරු නිශාන්ත රණවීර යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරය සිදුකල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය හා ඊට අයත් කුඹුරුපිඩ්ඩි, සල්පෙආරු යන නාවික අනුඛණ්ඩ, ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය හා ඊට අයත් පොඩුවකට්ටු හා කල්ලරාව යන නාවික අනුඛණ්ඩ සහ ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය හා ඊට අයත් තුඩුව හා පොල්මල්කුඩා යන නාවික අනුඛණ්ඩයන්හි නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

එහිදී, ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකරනු ලබන වෙරළ නීරීක්ෂණ රාජකාරීන්, ආවේක්ෂණ කටයුතු සහ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදුකිරීම සඳහා සහ එම ප්‍රදේශයේ නාවික හමුදා ආයතන හා අනුඛණ්ඩයන්ට අයත් නාවික පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි.

තවද, මෙම නිල සංචාරය සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා, වළගම්බා සහ රන්වැලි යන ආයතනයන්හී අණදෙන නිලධාරීන්ද සහභාගී වූ අතර, මෙම නිල සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ වළගම්බා ආයතනයන්හි පැළ රෝපණය කිරීමක්ද සිදු කෙරිණි.