ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ ගරු අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් යටතේ, වැලිසර නාවික හමුදා මහ රෝහල ඇතුළු රජයේ රෝහල් වෙත රෝහල් උපකරණ සංකේතාත්මකව බෙදාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 17 වන දින වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ වැලිසර, ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල ඇතුළු නාවික හමුදා රෝහල් සඳහා විශාල රෝහල් උපකරණ තොගයක් පිරිනැමීමට නියමිතව ඇති අතර, එය සංකේතවත් කරමින් 2023 ජුලි මස 17 වන දින වැලිසර නාවික හමුදා මහ රෝහල වෙත සහ නාවික හමුදා හෙද පුහුණු පාසල වෙත රෝහල් උපකරණ දෙකක් (02) ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා රෝහල් මණ්ඩලයේ ගරු අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතිය අගය කරමින්, මෙම ව්‍යාපෘතිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා විශාල දායකත්වයක් ගෙන දෙන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනු ලබන බවත්, මෙවැනි සමාජ මෙහෙවර ව්‍යාපෘතීන් සඳහා ඉදිරියටත් නාවික හමුදාව අඛණ්ඩව දායකත්වය ලබා දෙන බවත් පවසන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජානක මාරඹේ ඇතුළු නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.