නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 18, 19 සහ 20 යන දිනයන්හීදී උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ කාලීන අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු එම විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ උතුරු මැද නාවික විධානයේ නිරීක්ෂණ චාරිකා වාරය සිදුකල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය හා ඊට අයත් ඌරුමලේ නාවික අනුඛණ්ඩ‍ය, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය හා ඊට අයත් ඕලුතුඩා නාවික අනුඛණ්ඩය, ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සහ ඊට අයත් වෙඩිතලතිව් නාවික අනුඛණ්ඩය යන ආයතන හා නාවික අනුඛණ්ඩයන්හි නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කෙරිණි. එහිදී නාවික හමුදාධිපති විසින්, එම ආයතන හා නාවික අනුඛණ්ඩයන්හි නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීමටත්, උතුරු මැද නාවික විධානයේ නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදුකිරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

‍ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, දිවයින වටා වූ මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ වගකීමක් පැවරී ඇති බවත්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන උතුරු මැද නාවික විධානයට අයත් මුහුදු තීරයේ ආරක්ෂාව වෙනුවෙන් එම මුහුදු තීරය ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති ආයතන, අනුඛණ්ඩ හා වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙත අනුයුක්ත නාවික පුද්ගලයන්ගේ උපරිම කැපවීම හා දායකත්වය අඛණ්ඩව අපේක්ෂා කරන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, විශේෂයෙන් තලෙයිමන්නාරම මුහුදු තීරයේ විදෙස් ධීවරයන් විසින් සිදුකෙරෙන අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම, නීතී විරෝධී සංක්‍රමණ මැඩ පැවැත්වීම, මත්ද්‍රව්‍ය හා භාණ්ඩ ජාවාරම මැඩ පැවැත්වීම ඇතුළු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නිරන්තර ආවේක්ෂණ කටයුතු, මුර සංචාර සහ මෙහෙයුම් සිදුකල යුතු බවත් පවසන ලදි. රට අභියෝගාත්මක කාල වකවානුවක් පසුකරමින් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන පසුබිමක, බාහිර පාර්ශවයන්ගේ පටු සමාජ දේශපාලන බලපෑම්වලට හසුවී නොමඟ යමින් රැකියාව හැරදා යාමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස අවධාරණය කල නාවික හමුදාධිපති, නාවික පුද්ගලයන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් සඳහා ඉහළ නංවන ලද සළාක දීමනාව විශාල සහනයක් වනු ඇති බවත්, නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සහ නාවික හමුදාව විසින් සලසනු ලබන අනෙකුත් සුභසාධන පහසුකම් මඟින් නාවික පුද්ගලයන් හට අවශ්‍ය සේවා ලබා ගත හැකි බවත්, නාවික හමුදාව විසින් ඉදිරියට තවදුරටත් නාවික පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරන බවත් පවසන ලදි.

තමන්ගේ ගැටළු සඳහා ඉතා දුෂ්කර වුවත් නිවැරදි තීරණය ගත යුතු බවත්, පහසුවෙන් ගත හැකි වැරදි හදිසි තීරණ ගැනීමෙන් වැළකිය යුතු බවත් අවධාරණය කල නාවික හමුදාධිපති, තමන් පුහුණුව තුළින් ගොඩනඟා ගත් විශ්වාසනීයත්වය, ගුණගරුකභාවය, නායකත්ව ගුණාංග, විනය සහ යහපත් චරිතය ඉතා සුළු ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් විනාශ කර ගැනීමෙන් වැළකිය යුතු බවත් අවධාරණය කරන ලදි. ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා කෙටි මාර්ග ඔස්සේ මුදල් සෙවීමේ අරමුණින් නීතී විරෝධි කටයුතු වෙත යොමු වී සහ ඊට අනුබල දී නාවික හමුදාවේ කීර්ති නාමයට හානි වන ලෙස කටයුතු කිරීමෙන් වැළකීම සෑම නාවික පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්ෂා කරන බවත් නාවික හමුදාධිපති විසින් පවසන ලදි.

එමෙන්ම, මෙම නිල සංචාරය සඳහා උතුරු මැද නාවික විධානයට අයත් අණදෙන නිලධාරීන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී විය. තවද, තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ නායක හිමිපාණන් වන පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමිපාණන් බැහැදැක, පිරිකර පූජා කර එම විහාරස්ථානය වන්දනාමාන කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපතිගේ උතුරු මැද නාවික විධාන නිල සංචාරය නිමාවට පත්විය.