පාසල් ළමුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස, පාසල් අධ්‍යාපනය අවසන් කර ඉදිරියේදී පාසල් හැරයාමට නියමිත කොළඹ ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දහසයක (16) පාසල් ළමුන් එකසිය පනස් අට දෙනෙකු (158) වෙනුවෙන් සංවිධානය කල නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (2023 ජුලි 21) නාවික හමුදා මූලස්ථානයේදී සහ කොළඹ වරාය හා වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ අධීක්ෂණයෙන් පැවති මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ඩීඑස් සේනානායක විද්‍යාලය, ඉසිපනත විද්‍යාලය, මහානාම විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, විශාකා විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, හින්දු විද්‍යාලය සහ සහිරා විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් පාසල් සිසු දරුවන් එකසිය පනස් අට දෙනෙකු (158) ඉතා උද්යෝගයෙන් සහභාගී වූහ.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදාවේ කාර්යභාරය පිළිබඳව පැවති වීඩියෝ දර්ශනයක් නැරඹීමෙන් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල විසින් සිදුකල දේශනයකට සහභාගී වීමෙන් අනතුරුව, කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තිබූ නාවික හමුදාවේ නෞකා හා යාත්‍රාවන් නිරීක්ෂණය කිරීමේ සහ ඒවායෙහි මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් වීමට සහ විශේෂ යාත්‍රා බලඝණය විසින් සිදුකල නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම, පරීක්ෂා කිරීම සහ අත්පත් කර ගැනීමේ නිදර්ශණාත්මක අභ්‍යාසයක් නැරඹීමටද සිසු දරුවන් හට අවස්ථාව උදා විය.

බටහිර නාවික විධාන මූලස්ථාන නිලධාරි නිවාසයේ දී සිසු දරුවන් හා ගුරු භවතුන් වෙනුවෙන් පැවති දිවා භෝජනයෙන් අනතුරුව, වැලිසර නාවික පරිශ්‍රයේ වායු රයිෆල් වෙඩි තැබීමේ පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සහ ප්‍රයෝගිකව වායු රයිෆල් වෙඩි තැබීමේ අවස්ථාවකට සහභාගී වීමටද සිසු දරුවන් හට අවස්ථාව උදා විය. එමෙන්ම, වැලිසර වායු රයිෆල් වෙඩි තැබීමේ පරිශ්‍රයේදී නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් සිදුකල කණ්ඩායම් ක්‍රියාකාරම් පිළිබඳ වැඩසටහනක් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශණයක් නැරඹීමෙන් අනතුරුව, මෙම නායකත්ව පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය.

තවද, නාවික හමුදාව විසින් පාසල් අධ්‍යාපනය නිම කර පාසල් හැරයාමට නියමිත ළමුන් වෙනුවෙන් ආරම්භ කල මෙම නායකත්ව පුහුණු හා දැනුවත් කිරීමේ පළමු වැඩසටහන, ඒ සඳහා සහභාගී වූ සිසු දරුවන්ගේ මෙන්ම ගුරුභවතුන්ගේද ඉහළ ඇගයීමට ලක් වූ අතර, සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් මෙම වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කර ඇත.