නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා අද දින (2023 ජුලි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1988 වසරේ දී නාවික හා සාගරික විද්‍යාපීඨයේ 18 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා, සිය වසර 35 ක සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (නාවික විභාග හා විෂය නිර්දේශ), විධාන මෙහෙයුම් නිලධාරි (වයඹ), විධාන මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි (වයඹ), ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සුභසාධන), නි‍යෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සුභසාධන, අධ්‍යක්‍ෂ නාවික පරීක්ෂණ ඒකකය, නාවික අණභාර නිලධාරි (හම්බන්තොට) හා හම්බන්තොට වරාය පහසුකම් ආරක්ෂක නිලධාරි, නියෝජ්‍ය ආඥාපති උතුරු මැද නාවික පෙදෙස, අධ්‍යක්‍ෂ නාවික සුභසාධන සහ ධජ නිලධාරි නාවික දියත් විධානය ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.