‘BestWeb.lk 2023’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ පවත්නා එකම වෙබ් අඩවි ඇගයීමේ තරඟාවලිය වන ‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2023’ තරඟාවලියේදී, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් සම්මානය සහ වෙබ් අඩවි 750 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ සමස්ථ තරගාවලියේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවිය සමත් විය.

මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් කර තිබූ වෙබ් අඩවි සඳහා සම්මාන හිමිගැන්වීම එම වෙබ් අඩවීන්හි නිර්මාණශීලීත්වය සහ වෙබ් අඩවියේ ඉහළ තාක්‍ෂණික ක්‍රමෝපායන් භාවිතය යන නිර්ණායක ප්‍රධාන වශයෙන් පදනම් කරගන්නා ලද අතර, සම්මාන හිමිගැන්වීම විද්වත් මණ්ඩලයක විශේෂ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවියෙහි සම්පූර්ණත්වය, සංචලන පහසුව, ප්‍රමිතීන්, ක්‍රියාකාරීත්වය, වෙබ් අඩවියේ සහ වෙබ් පිටු වල නිර්මාණශීලී බව, වෙබ් අඩවියේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය, වෙබ් අඩවියේ පරිශීලකයින් සමඟ ගුණාත්මක අන්තර් ක්‍රියාකාරීත්වය, පෞද්ගලිකත්වය සුරැකීම හා වෙබ් අඩවියේ ආරක්‍ෂාව සහ ප්‍රකාශන හිමිකම් සුරැකීම යන කරුණු පදනම් කරගනිමින් මෙලෙස ‘BestWeb.lk 2023’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ වෙබ් අඩවි 23 ක් අතුරින් හොඳම වෙබ් අඩවිය ලෙස රන් සම්මානය හිමිකර ගන්නා ලදි.

එමෙන්ම, මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ වෙබ් අඩවි 750 කට අධික ප්‍රමාණයක් අතුරින් නාවික හමුදා නිල වෙබ් අඩවිය තෙවන ස්ථානය ලබාගනිමින් ලෝකඩ සම්මානයත් හිමිකර ගැනීමට සමත් වූ අතර, එය නාවික හමුදා වෙබ් අඩවිය ලද ‍‍‍ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සනිටුහන් විය.

මෙවැනි තරගාවලින් සඳහා සහභාගීවීම මඟින් වෙබ් අඩවීන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීම හා එමඟින් වෙබ් පරිශීලකයන් හට ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීම අපේක්‍ෂා කෙරේ.