ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයේ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාර සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත්කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාරය සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද දින (2023 ජුලි 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

එමෙන්ම, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිර්මිත පරිසර පර්යේෂණ සංග්‍රහය එළිදැක්වීම (Journal of Built Environment) සහ ‘QUALITY- for Sustainable Future’ නමැති කාර්මික සඟරාව එළිදැක්වීමද මෙම අවස්ථාවට සමගාමීව සිදුකෙරිණි.

තවද, මෙම අභිනව අංග සම්පූර්ණ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාරයේ ඉදිකිරීම් කටයුතු ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය අධ්‍යයන සහ පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.