ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දු ශාන්තිකර කලාපයේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් 2023 ජුලි මස 20 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 29) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.

‘SAMIDARE (DD-106)’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් OKUMURA Kenji හා එම නෞකාවේ ධජ නිලධාරී ලෙස පැමිණි, ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායේ පළමු කණ්ඩායම් අණදෙන නිලධාරී (Commander, 01st Surface Group) රියර් අද්මිරාල් NISHIYAMA Takahiro විසින් බටහිර නාවික විධානයේ ආඥාපති සමඟ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සමඟ නිල හමුවීමක්ද සිදුකෙරිණි.

එමෙන්ම, ‘SAMIDARE (DD-106)’ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හටද අවස්ථාව හිමිවූ අතර, නෞකාව මතදී ශ්‍රී ලංකාවට සහ ජපානයට අනන්‍ය ආහාර පිසිමේ වැඩසටහනක්ද පැවැත්විණි.

‘SAMIDARE (DD-106)’ නෞකාවේ නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කල පාපන්දු තරඟයක් සඳහා සහ දෙවන ලෝක යුද සමයේ මියගිය ජපාන ජාතිකයින් සිහිකරමින් 2023 ජුලි මස 22 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවති පුෂ්පෝපහාර පුදකිරීමකට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සඳහාද සහභාගී වූහ.

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.