ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 29 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.

‘INS Khanjar’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ, දෙරටේ නාවික හමුදා‍වන් අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කල විවිධ වැඩසටහන් සඳහා ‘INS Khanjar’ නෞකාවේ නැව් මුළුව සහභාගී විය. ඒ අනුව, යෝගා වැඩසටහනක්, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා මෙන්ම, ත්‍රිකුණාමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවති නෞකා වෙත ප්‍රවිෂ්ඨ වීම පරික්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ පුහුණු අභ්‍යාසයක් (Visit Board Search & Seize – VBSS) සඳහා සහ නාවික හා සාගරික විද්‍යා පීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවති සංස්කෘතික ප්‍රසංගයක් සඳහා ද ‘INS Khanjar’ නෞකාවේ නැව් මුළුව සහභාගී විය.

එමෙන්ම, ‘INS Khanjar’ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හටද අවස්ථාව හිමිවූ අතර, නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සඳහාද සහභාගී විය.

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.