කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 06 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේදී පැවැත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.

ඵෙතිහාසික සම්ප්‍රදායක් ලෙස කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වේ. ඒ අනුව, වාර්ෂික දේව මංගල්‍යයයේ අවසන් සන්ධ්‍යා දේව මෙහෙය සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල හා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟ නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගී වූ අතර, ඵෙතිහාසික සම්ප්‍රදායක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් සිදු කරනු ලබන ශාන්ත ආනා මෑණියන්ගේ ප්‍රතිමාව වීථි සංචාරය කිරීම මෙවරද නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

තවද, කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සදහා නාවික හමුදාව විසින් ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් දේවස්ථානය භාර පූජකතුමන් ඇතුළු බැතිමතුන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පල කර සිටින ලදී.