ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැසි සහ ප්‍රායෝගික වැඩසටහන් රැසක් පවත්වයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මේ වන විට කොළඹ ශැන්ග්‍රිලා හෝට‍ලයේදී සාර්ථකව පැවැත්වෙන අතර, එහි තෙවන දිනය වූ 2023 අගෝස්තු මස 16 වන දින නාගරීකරණයේ බලපෑම සහ ඉඩම් ආරක්ෂාව (Impacts of Urbanization and Land Security) පිළිබඳ උගත් පාඩම් සහ යහපත් භාවිතයන් පිළිබඳව ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කොරල් නැවත වගාව හා කඩොලාන වගාව සම්බන්ධ ප්‍රායෝගික වැඩමුළු මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම සංසදයේ ආරම්භක දිනය වූ 2023 අගෝස්තු මස 14 වන දින දේශගුණික විපර්යාස සහ ආරක්ෂාව (Climate Change and Security) යන තේමාවට අදාලව ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි. එහිදී ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ ‍බ්‍රිගේඩියර් කාලා වොට්ස් (Brigadier Carla Watts – Australian Defence Force) විසින් කාළගුණික විපර්යාස හමුවේ හමුදා සැපයුම් හා සැපයුම් ජාලය ශක්තිමත්ව පවත්වා ගැනීම (Military Logistics & Supply Chain Resilience in the face of Climate Change), ෆිජි රාජ්‍යයේ ජේම්ස් එල්ස්මුවර් මහතා (Mr. James Ellsmoor) විසින් ඉන්දු ශාන්තිකර කලාපයේ සංවර්ධනය වෙමින් පවත්නා කුඩා දූපත් රාජ්‍යයන් මුහුණ දෙන බලශක්ති අනාරක්ෂිතභාවය සඳහා විසදුම් සෙවීම සහ කාලගුණික විපර්යාස සඳහා මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම (Addressing Energy Insecurity & Increasing Climate Resiliency for Small Island Developing States in the Indo pacific region) සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ශිලෝ ‍ෆෙට්ස්ක් මහත්මිය (Ms. Shiloh Fetzek – International Institute of Strategic Studies) විසින් කාබනීකරණය පිටු දැකීම සඳහා උපාය මාර්ග සහ ආයෝජන පිළිබඳ ගෝලීය තක්සේරුව (Radical Defence Decarbonization – Global Assessment of Strategies and Investments) යන ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීම් සිදු කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

සමුද්‍ර, සාගර සහ ජල ආරක්ෂාව (Maritime, Ocean and Water Security) යන තේමාව යටතේ අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) ගේ මෙහෙයවීමෙන් 2023 අගෝස්තු මස 15 වන දින ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි. එහිදී, ‍කපිතාන් අනුරග් බයිසන් (Captain Anurag Bisen – Indian Navy) විසින් නීති විරෝධී, වාර්තා නොවන හා නියාමනය නොවූ ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා වන නීතිමය ප්‍රතිචාර ශක්තිමත් කිරීම (Strengthening Legal Responses to Illegal, Unreported, Unregulated Fishing), හවායි විශ්ව විද්‍යාලයේ Ms. Maybeleen Apwong මහත්මිය විසින් කඩොලාන, මුහුදු තෘණ සහ සමුද්‍ර පරිසරයේ තැන්පත් වී ඇති කාබන්, වෙරළ පරිසර පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීමට සිදුකරනු ලබන දායකත්වය සහ පැසිෆික් දූපත් වාසීන් හට දේශගුණික විපර්යාස සඳහා ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම (Mangroves, Sea grass Beds, and Blue Carbon & How Resilient Coastal Ecosystems In crease the Resiliency of Pacific Islanders), ජාත්‍යන්තර ජල කළමණාකරණ ආයතනයේ ආචාර්ය Mohsim Hafeez මහතා විසින් ජල ආරක්ෂණය වැඩි දියුණු කිරීමේදී ජල ගබඩා කිරීම (The Role of Water Storage in Enhancing Water Security), කොමාණ්ඩර් ප්‍රශාන් පෙරේරා - ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉන්දියානු සාගර කලාපයේ ප්ලාස්ටික් දූෂණය වැළැක්වීමේ ප්‍රතිපත්ති රාමුව (Policy Framework for Preventing Plastic Pollution in the Indian Ocean Region), අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) හා ආචාර්ය ඇඩම් ස්මිත් විසින් කොරල්පර විද්‍යාව හා ප්‍රතිසංස්කරණය පිළිබඳ හැඳින්වීම (Introduction to coral reef science and restoration) සහ පැසිෆික් දූපත් වාසීන්ගේ සාගරයේ තැම්පත් වී ඇති කාබන් පිළිබඳ දැනුම හුවමාරුව හරහා කඩොලාන පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම (Mangrove Resilience through Pacific Island Blue Carbon Knowledge Exchange PI - BLUEX) යන ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීම් හා වැඩමුළු මඟින් දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

ආචාර්ය ක්‍රිස් කිටලොන්ග් (Dr. Chris Kitalong) විසින් පරිසර විද්‍යාව පිළිබඳ ජනවිකාශයේ බලපෑම් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ සඳහා සාම්ප්‍රදායික දැනුම් පද්ධතියේ තීරණාත්මකභාවය - සිද්ධි අධ්‍යයනය (A Case study from Palau - The Effects of Demographics on Ecology & How Integration of Traditional Knowledge Systems is Critical to Land Restoration), ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් විසින් (Colonel Hassan Amir) මාලදිවයිනේ දැඩි නාගරීකරණය සහ ආරක්ෂක හමුදාවන්ගේ උපායමාර්ග, මෙහෙයුම් සහ උපක්‍රම කෙරෙහි එමඟින් ඇති කෙරෙන තර්ජන සහ අවදානම (Intense Urbanization in the Maldives & the Strategic Operational and tactical threats and Risks Impacting Defence Forces), වියට්නාමයේ මධ්‍යම වෙරළ තීරයෙහි ප්‍රජාමූල කඩොලාන පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය මඟින් ආහාර සුරක්ෂිතතාව සහ ආපදා අවදානම් අවම කිරීම (Food Security & Disaster Risk Reduction through community – based Mangrove Restoration in the Central Coast of Vietnam) සහ නාගරීකරණයේ බලපෑම සඳහා විසදුම් සෙවීම වෙනුවෙන්, නගර හා නගරාශ්‍රිත පරිසර පද්ධතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් (Addressing Impacts of Urbanization, Japan International Cooperation Agency’s (JICA) Activities in cities and Surrounding Environment) යන ක්ෂේත්‍ර පිළිබඳ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කිරීම් සිදු කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

එමෙන්ම, 2023 අගෝස්තු මස 16 වන දින ප්‍රායෝගික ක්‍රියාකාරකම් යට‍තේ කොළඹ වරාය නගරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කෘතිමව නිර්මාණය කරන ලද පරයන් මත (Artificial Reef) කොරල් වගාවක් සිදුකරන ආකාරය පිළිබඳව වැඩමුළුවක් සඳහා සහ මීගමුව කළපුව ආශ්‍රිතව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව කඩොලාන වගාවක් සිදු කිරීම සඳහා ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදුකරන ආකාරය පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරිණි.

තවද, ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023, අද දින (2023 අගෝස්තු 17) අවසන් වීමට නියමිතව ඇත.


Day 02


Day 03