මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පවත්වන ලද සමුද්‍රීය ක්ෂේත්‍රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීම පිළිබඳ පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන් ප්‍රධානී Siri Bjune මහත්මියගේ සහ ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 18 වන දින එම විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා වෙරළබඩ හා වරාය ආරක්‍ෂක රාජකාරීන් සඳහා කාන්තා නාවික පුද්ගලයන් සහ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට කාන්තා නිලධාරීන් අනුයුක්ත කිරීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ පැවැත්වූ මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් (01) කාන්තා නිලධාරියෙකු සහ කාන්තා නාවිකයන් දෙදෙනෙකු (02), ඉන්දුනීසියානු සමුද්‍රීය පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරීන් තිදෙනෙකු (03) සහ මැලේසියානු සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ කාන්තා නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු නවදෙනෙකු (09) සහභාගී විය.

සති හතරක (04) කාලසීමාවක් පවත්වන ලද මෙම පාඨමාලාවේ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සහ ත්‍රිකුණාමලය නාවික හමුදා වරාය ආරක්ෂක ඒකකයේදී සිදු කෙරුණු අතර, එහිදී ජලතරණය, නාවික ශිල්පය, වෙරළබඩ මුර යාත්‍රාවන්ගේ ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් පද්ධතිය, සංග්‍රාමික ප්‍රථමාධාර, ගිනි නිවීම, සන්නිවේදනය සහ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීම පිළිබඳ මූලික න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීම සිදු කෙරිණි.

තවද, සමුද්‍රීය ක්ෂේත්‍රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත විදේශිය කාන්තා නිලධාරීන්ද සහභාගී වන මෙවැනි විශේෂ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීම මඟින් ගොඩනැගෙන සහයෝගීත්වය තුළින් ඉදිරියේදී පොදු සමුද්‍රීය අභියෝග සාමුහිකව ජය ගැනීම සඳහා කාන්තා නාවික පුද්ගලයන් කාර්යක්ෂමව සහ ඵලදායී ‍ලෙස යෙදවීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.