මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද නාවික හමුදා පුද්ගලයින් විසිර යයි

අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පැවති 53 වන මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් නිලධාරියෙකු (01) සහ නාවිකයන් පස් දෙනෙකු (05) 2023 අගෝස්තු මස 24 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී විසිර යන ලදි.

2023 ජුලි මස 10 වන දින සිට අගෝස්තු මස 24 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පැවති පාඨමාලා අංක 53 යටතේ යුද, ගුවන්, නාවික හා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් සහ සෙසු නිලයන් 45 දෙනෙකු ගෙන් සමංවිත වූ මෙම මූලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ හොඳම පැරෂුට් භටයාට හිමි සම්මානය සහ පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂ පැරෂුට් භටයාට හිමි සම්මානය ලුතිනන් (මැරීන්) ආදිත්‍ය විජයවික්‍රම විසින් හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම, මෙම පාඨමාලාව තුලදී මූලික පැරෂුට් භාවිතය සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 32 ගුවන් යානයකින් අඩි 1000 ක ඉහළ ගුවනේ සිට අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පතිත කලාපය වෙත දිවා සහ රාත්‍රී කාලයේ අවි හා උපකරණ සහිත හා රහිතව පැනුම් වාර පහක් (05) සාර්ථකව සිදුකෙරිණි.